රු. ලක්ෂ 3000ක කොකේන් සමග කෙන්යානුවෙක් අල්ලයි


රුපියල් කෝටි 30 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු 09/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 26 හැවිරිදි කෙන්යානු ජාතික මෝටර් රථ ව්‍යාපාරිකයෙකි. මෙම කෙන්යානු ජාතිකයා ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර  සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ " කුකීස්" බිස්කට් අඩංගු ටින් 03 ක් තුළ කිලෝ ග්‍රෑම් 04 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය කරල් 180 ක් සගවා ගෙන පැමිණ තිබූ අතර ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Chanel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වන අවස්ථාවේ දී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය  වෙත පැමිණ සිටියේය .

මෙම කෙන්යානු ජාතිකයා ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණ තිබූ අතර මෙම සිදුවීම පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත ජාත්‍යන්තර බුද්ධි තොරතුරු ලැබී තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් කෙන්යානු ජාතිකයා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

 

 



Recommended Articles